පුවත්

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා ජනරජයේ 2016.08.04 දිනැතිව අංක 12/2016 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ඇති තොරතුරු නිලධාරීන්ගේ නම් සහ විෂය ක්ෂේත්‍රයන් පහත දැක්වේ.

තවදුරටත් කියවන්න...

හිමිකම් සහතිකය යනු කුමක්ද ?

ඉඩමක හිමිකම කියා පෑම සඳහා දැනට භාවිතා වන ඔප්පුව වෙනුවට නිකුක් කරනු ලබන සහතිකය හිමිකම් සහතිකය ලෙස හැදින්වේ.

ඉඩමේ අයිතිය සඳහා ඔප්පුව තිබියදී හිමිකම් සහතිකයක් ලබාදෙන්නේ ඇයි?

ඔප්පුවක් යනු......

යම් ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ ගනුදෙනුවක් (විකිණීමක් / පැවරීමක් / උකසක් / අතුරු බෙදීමක්....) පිළිබඳව සඳහන් වන නීතිමය ලියවිල්ලකි. ගණුදෙනුව සම්බන්ධ ලියවිල්ල (ඔප්පුව) ලියාපදිංචි කිරීම අදාල ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල මගින් සිදුවේ. ඔප්පුව අදාළ ගනුදෙනුව සිදුවූ බවට වන ලියවිල්ලක් වන අතර ඉඩමෙහි හිමිකම පිළිබඳව පැහැදිළි සහතිකයක් නොවේ.

හිමිකම් ලියාපදිංචිය සහ හිමිකම් සහතිකය යනු කුමක්ද ?

හිමිකම් ලියාපදිංචිය යනු ඔප්පුවට වඩා වඩා විධිමත් අයුරින් ඉඩමක හිමිකම ලියාපදිංචිය කොට එහි පසු ගනුදෙනු ඉතා සරල අන්දමින් පහසුවෙන් කරගත හැකි දියුණු ඉඩම් කළමනාකරණ ක්‍රමයකි. හිමිකම් සහතිකය යනු එම දියුණු ඉඩම් කළමණාකරණ ක්‍රමය මගින් ඉ‍ඩමේ හිමිකම වෙනුවෙන් ලබාදෙන සහතිකයයි. ඔප්පුව මගින් ඔප්පුවෙහි සඳහන් ගණුදෙනුව පිළිබඳ ලියාපදිංචිය සිදුවේ. ඉඩමේ අයිතිය එනම් හිමිකම ලියාපදිංචි වීමක් සිදුනොවේ. හිමිකම් සහතිකය මගින් එම ඉඩමේ හිමිකම සහ එම ඉඩම ලියාපදිංචි කිරීම ද සිදුවේ. ඔප්පුවෙහි අඩංගු කරණු කියවා තේරුම් ගැනීම අපහසු වුවද, හිමිකම් සහතිකය කියවා තේරුම්ගත හැකි ආරක්ෂාකාරී ලියවිල්ලකි. ගනුදෙනු සිදුකිරීමද පහසු වේ. හිමිකම් සහතිකයේ ඉඩම සම්බන්ධ පිඹුර ද සටහන් කොට ඇතත් ඔප්පුම සමඟ පිඹුරේ සටහනක් තැබීම බොහෝ විට සිදුනොවේ.

1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මගින් හිමිකම් ලියාපදිංචි සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

හිමිකම් සහතිකය ලබාගැනීමෙන් පසුව ගනුදෙනු සිදු කරන්නේ කෙසේ ද?

1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතට අනුව හිමිකම් ලියාපදිංචි කිරීමත් සමඟම පැරණි ඔප්පුව අවලංගුවේ. පැරණි ඔප්පුව වෙනුවට ඉඩමේ අයිතිකරු වෙත හිමිකම් සහතිකයක් ලබාදීම සිදුවේ. හිමිකම් සහතිකය ලබාගැනීමෙන් පසු සිදුවන විකිණීම, උකස් තැබීම්, තෑගි දීම, පැවරීම්, බදුදීම්, කේවියට් තහනම් ලබාගැනීම, එකාබද්ධ කිරීම සහ අතුරු බෙදීම් ඇතුළු සියළුම ගණුදෙනු සඳහා හිමිකම් ලියාපදිංචි ක්‍රමය මගින්ම හඳුන්වාදුන් සාධන පත්‍ර මගින් සිදු කෙරේ. සාධන පත්‍ර යනු එක් එක් ගනුදෙනුව සඳහා වෙන් වෙන්ව භාවිතා කරන ලියවිල්ලකි. සාධන පත්‍රයක් දින 7 ක් ඇතුලත ලියාපදිංචි කළ යුතුය. ලියාපදිංචිය සඳහා අදාල ප්‍රදේශයේ හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් කල යුතු අතර ඒ සමඟම හිමිකම් සහතිකයේ මුල් පිටපත, අදාල පළාත් පාලන ආයතයට මුද්දර ගාස්තු සහ හිමිකම්‍ රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි ගාස්තු ගොවා එහි කුවිතාන්සි සමඟ ඉදිරිපත් කල යුතුය.